ඩෙංගු වලට "වගකිව යුත්තන්" සියලු දෙනා මර්ධනය කිරීම මගින් ඩෙංගු පහසුවෙන්ම මර්ධනය කිරීම ...

By Dr Hasinda Udalagama (hasindaudalagama@gmail.com)

මේ ටික විවෘත මනසකින් කියෙව්වෙ නැත්නම් තේරෙන එකක් නෑ. ඒ නිසා ඔළු වල පුරවගෙන ඉන්න දැනුම ටිකකට වමාරලා කියවගෙන යන්න. කාලාන්තරයක් තිස්සේ දේශපාලකයොයි, මුල් පුටු වල ඉන්න අයයි, වෛද්‍යවරුනුයි, මාධ්‍යයයි එකමදේ නැවත නැවත කියවන එකෙන් මිනිස්සුන්ව කොච්චර පහලට ඇදගෙන යන්න පුලුවන්ද කියලා මම පෙන්වන්නම්. එහෙම ඇදගෙන ගිහින් අපි හැමෝම එක එක දේවල් වල හිරවෙලා, ගැලවෙන්න බැරුව ඉන්න හැටි බලන්න. විවෘතව දෙයක් දිහා බලන විදිය ගැන පාඩමක් ඩෙංගු අපිට කියලා දෙනවා. ඒක මේ පෝස්ට් එකේ අමතර වාසියක්.

ඩෙංගු රෝගය ඇතිවෙන විදිහ දාමයක් (chain) විදියට විමසලා බලමු:-

1. ඩෙංගු රෝගය ඇති කරන්නෙ ඩෙංගු කියන වෛරසය විසින්...  එතකොට ඩෙංගු වෛරසය එන්නෙ කොහෙන්ද?

2. ඩෙංගු වෛරසය ඉන්නේ මනුස්සයන්ගේ ඇඟෙයි, ඊඩිස් මදුරුවගෙ ඇඟෙයි. මදුරුවගෙයි මිනිහගෙයි දෙන්නගෙම ඉන්නවා...

3. මිනිහව පැත්තකින් තියමුකො. මදුරුවා එන්නේ කොහෙන්ද? මදුරුවා එන්නෙ බිත්‍තර වලින්. බිත්තර තියෙන්නෙ අපි හැමෝම ඇතිවෙනකම් අහලා තියන වතුර එකතුවන තැන් ලිස්ට් එකේ...

4. ඔය වතුර එකතු වෙන තැන් හැදෙන්නෙ කොහොමද? කුණු... කුණු හින්දා තමයි මේ බෝවන තැන් හැදෙන්නෙ (ජනප්‍රිය මතය).

දැන් ඔය විදියට 1යි 2යි කියවගෙන කියවගෙන ගියාම... ඩෙංගු හැදෙන්නෙ වයිරස් එක නිසා නෙමේ, මදුරුවගෙන් කියලා හිතෙනවා වගේ නේද...? මිනිහා අදාලම නෑ වගේ හිතෙනවා නේද...? ඔහොම ඉන්න තව ටිකක් ඉස්සරහට යමු...

දැන් 2යි 3යි එකදිගට කියවගෙන ගියාම නිකම් හිතෙනවා හිතෙනවා වගේ නේද ඩෙංගු හැදෙන්නෙ වතුර එකතුවෙන තැන් වලින් කියලා...? ඩෙංගු මර්ධනය කරන්නනම් අනිත් ඔක්කොම වැඩ පැත්තක තියලා වතුර එකතුවෙන තැන් විනාශ කරන්න ඕනෙ කියලා ගැම්මක් එනවා නේද? (වයිරස් එකයි මිනිහයි දැන් අදාලම නෑ, මදුරුවගේ කීට අවස්ථාව සහ බිත්තර දැනට ටිකක් අදාලයි).

දැන් 3යි 4යි දෙක කියවාගෙන කියවාගෙන ‍යනකොට ඩෙංගු පැතිරෙන්න හේතුව කුණු කියලා හිතෙනවා නේද...? ටිකක් මඤ්ඤං වගේ නේද...? ඔව් අපිට මඤ්ඤං තමයි...

පොඩි සරල පරීක්ෂණයක්...

ගන්න මයික් එකක්. ටිකක් ලොකු කැමරාවකුත් ගන්න, වැඩ නොකලත් කමක් නෑ. බස් හෝල්ට් එකකට ගිහින් කාට හරි මයික් එක අල්ලලා බොරුවට වීඩියෝ කරනවා වගේ පෙන්නලා අහන්න "මොකක්ද ඩෙංගු වලට හේතුව ?" කියලා. මෙන්න මේ වගේ උත්තර ලැබෙයි:-

"බලන්න මිනිස්සු කුණු පිලිවෙලකට දාන්නෙ නෑනෙ... දිරන කුණු, නොදිරන කුණු, විදියට කියලා වෙන් කරා නම් මේ කුණු ප්‍රශ්නෙ ඉවරයිනෙ..."

"දැන් දවස් පහක් වෙනවා... සභාවෙ කුණු ලොරිය ආවෙ නෑ, ඉතින් ඩෙංගු හැදෙන්නෙ නැතුව තියෙයිද...? අපි කොහොමද මේ ලමයිව තියා ගන්නෙ...?"

"ගෙවල්වල වතුර එකතු වෙන තැන් කොච්චර තියනවද? ඇයි අපේ අයට බැරි සතියට දවසක් ගෙවල් අවට පිරිසිදු කරන්න? අපේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න ඕනෙ මේ ඔක්කොටම කලින්..."

ඔය උදාහරණ කීපයක් පමණයි.

හැමෝම දොස් කියන්නෙ කුණු වලටයි, වතුර එකතුවෙන තැන් වලටයි විතරයි. කවුරුවත් වෛරසය අරන් යන මදුරුවටවත්, වෛරසය ගබඩා කරගන්න මනුස්සයටවත්, කොටින්ම වෛරසයටවත් දොස් කියන්නෙ නෑ...

හාස්‍යයට ලක් කලාට, මේ විදිහට හිතන සාමාන්‍ය මිනිස්සුන්ට සමාව දෙන්න පුලුවන්. එයාලගෙ වැරැද්දක් නෑ. නමුත් මේ අදහසම දරන, ඒ අදහස ගැන පොඩ්ඩක් විවෘතව නැවත සලකා බලන්න කියලා ඉල්ලනකොට ඒවා නොසලකා හැරලා, දැඩි මත වලම එල්ලිලා ඉන්න නිලධාරීන්ට, බලධාරීන්ට නම් කිසිම සමාවක් දෙන්න බෑ...

අපි මෙතන කියන්නෙ නෑ කුණු නිවැරදිව කලමණාකරණය කරන්න එපා කියලවත්, මදුරුවො බෝවෙන තැන් විනාශ කරන්න එපා කියලාවත්... අපි කියන්නෙ ඩෙංගු මර්ධනය කරන්න ගන්න පුලුවන් ක්‍රියාමාර්ග සියල්ල ගන්න කියලා... එක ක්‍රමයකින් තව ක්‍රමයකට බාධාවක් නැත්නම්, ලොකු වියදමකුත් නැත්නම්, එහෙම ක්‍රම සියල්ලක්ම පාවිච්චි කරන එක වැරද්දක් නෙමේ... අඩුම තරමේ ඒ ක්‍රම වලින් වැඩක් තියනවා නම් මිනිසුන්ට උපදෙස් හරි දෙන්න ඕනෙ. 

නමුත්, එහෙම එකක් වෙන්නෙ නෑ... හැමදාම ගහන්නෙ එකම බෙරපදය... වැදගත්ම කාරණය එහෙම උපදෙස් නොදෙන එකෙන් ඩෙංගු වෛරසය වැලඳෙන්න තියන සමහර අවස්ථා වලින් වැලකෙන්න මිනිසුන්ට අතපසු වෙනවා... නොදැනුවත්කම නිසා මිනිස්සුන්ට ඩෙංගු හැදෙනවා... ඒක භයානකයි... එහෙම වෙන තැන් කීපයක් කියවගෙන යනකොට පැහැදිලි වෙයි.

ඩෙංගු වලට "වගකිව යුත්තන්" (culprits) පාලනය කිරීම මගින් ඩෙංගු පාලනය කරන්න පුලුවන්

ඒ සඳහා ඒ හැම "වගකිව යුත්තෙක්ම" පාලනය/විනාශ කල යුතුයි. අපි කලින් කතා කරපු අංක ටිකම යට ඉඳන් උඩට සාකච්ඡා කරමු:-

4. කුණු - මේවා පාලනය කරන හැටි ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... දැනට ජනප්‍රිය මාධ්‍යයේ මේ දැනුවත් කිරීම් ඇතිවෙන්න තියනවා... ඒවා අනුගමනය කරන්න.

3. වතුර එකතු වෙන තැන් - '4' දි කියපු ටිකමයි මේකෙදිත් කියන්න තියෙන්නෙ.

2. මේකෙ අපි වගකිව යුත්තො දෙන්නෙක් ගැන කතා කලා... මදුරුවා සහ මිනිසා.. ඒ නිසා ඒ දෙන්නා පාලනය කරන හැටි ගැන වෙන වෙනම කතා කරමු.

A) මදුරුවා - හරි සරලයි... මදුරුවො අඩු කරන්න හරි මදුරුවො අහල පහලට එන්නෙ නැතිවෙන්න හරි මොනවා හරි කරන්නයි ඕනෙ. ඉපදුනාට පස්සෙ ඉන්න මදුරුවො අඩු කරන්න නම් උන්ව මරන්න ඕනෙ. ඔය දුම්, තෙල් ගහලා, කරන්නෙ ඒක. ඕන ක්‍රමයකට මරණ එකයි ඇත්තෙ. අතින් ගහලා, බෙල්ල මිරිකලා හරි කමක් නෑ... ඉපදෙන්න කලින් මදුරුවො මරන්නෙ, බෝවෙන තැන් විනාශ කිරීමෙන් තමයි. ඒකට උපදෙස් ඕන තරම් ලැබෙනවා. ඒවා අනුගමනය කරන්න. ඒ අතරෙ මදුරුවො බිත්තර දාන්න ආකර්ශනය කරගෙන, ඒවා විනාශ කරන මදුරු උගුලක් ගැන කතාවක් අහන්න ලැබෙනවා... හරි අපූරු අදහසක්... හැබැයි කවුරුවත් ගණන් නොගන්න ඉඩ තියනවා... මොනවා උනත් ඒක හදන කෙනාට සැලියුට් එක මෙන්න...

මදුරුවො පාලනය කරන්න තව තියන ක්‍රමයක් තමා මදුරුවො තමන්ට ළඟා වෙන එක අවම කරන එක. ඒකට ඕනෙ වර්ගයක විකර්ශක, දන්න කියන කොයිල්, වේපරයිසර් වර්ග හැම එකක්ම පාවිච්චි කරන්න. අත්දැකීමෙන් කියන්නෙ ක්‍රම කිහිපයක් එකවර යොදා ගන්න එක ඵලදායියි. පුලුවන් හැම වෙලාවෙම නෙට් එකක ඉන්න. දවල්ට නිදා ගද්දි නෙට් දාන්න. විකර්ශක නිතර නිතර ගාන්න. අත් කකුල් වැසෙන ලෙස දිග ඇඳුම් අඳින්න. අනිත් එක ඔබ ඉන්නෙ ඩෙංගු බහුල ප්‍රදේශයක නම් ගේ ඇතුලට මදුරුවන්ට එන්න බැරි විදියට මොනවා හරි කරන්න. ජනෙල් කවුලු, පොඩි වා කවුලු වගේ ඒවා නෙට් වලින් කවර් කරන්න. පරණ නෙට් එකක් අරන් ඔය වැඩේ කරන්න පුලුවන්. හැකියාවක් තියනවා නම් කාමර හරි, ගේ හරි සීල් කරලා, AC කරන්න. අවදානම් අය (ගැබිණි මවුවරු, කුඩා අය, මහළු අය, දරුණු රෝගාබාධ සහිත අය) ඉන්නවා නම් එයාලා මදුරු දෂ්ටනයෙන් උපරිම පරිස්සම් වෙන්න ඕනෙ... මෙතන නැති ඒවත්, "කොමන් සෙන්ස්" වලින් හිතලා මොනවා හරි කරන්න...

B) මනුස්සයා - මෙයාව පාලනය කරන කතාවත් අපි දවස් ගානක් තිස්සෙ කියාගෙන එනවා. කමක් නෑ, ආයෙ කියන්නම්. ඩෙංගු වෛරසය වැලඳුන මනුස්සයා තමයි ඩෙංගු වෛරසය වැඩිපුරම තියාගෙන ඉන්න සතා... ඒ වෙලාවෙ එයාගෙන් ලේ බිව්වොත් මදුරුවාටත් වෛරසය යනවා... ඒ මදුරුවා තව කෙනෙක්ටත් කෑවොත්, එයාටත් යනවා... එහෙමයි ඩෙංගු රෝගියෙක්ගෙන් තවත් රෝගියෙක්ට යන්නෙ. එතකොට මේ ඩෙංගු වෛරසය තියාගෙන ඉන්න මනුස්සයව බ්ලොක් කලොත් එතනින් එහාට ඒ වෛරසය යන්නෙ නෑ... වෛරසය ලෙඩෙක්ගෙන් නොගෙන, මදුරුවාගෙ ඇඟ ඇතුලෙ නිකම්ම ජනිත වෙන්නෙ නෑ... ඉතින් එහෙම බ්ලොක් කරන්නෙ කොහොමද? බ්ලොක් කරන්න කලින්, වෛරසය තියන මිනිස්සුන්ව අඳුනගන්නෙ කොහොමද?

උණ තියන අයව "බ්ලොක්" කරමු...

ඒක කරන්නෙ මෙහෙමයි. එහෙම අය අඳුන ගන්නෙ "උණ" කියන රෝග ලක්ෂණයෙන්. ඩෙංගු බහුල ප්‍රදේශයක කෙනෙක්ට උණ හැදෙනවා නම්, ඒ ඩෙංගු වීමේ හැකියාව වැඩියි. උණ මතුනොවී වෛරසය ඇඟේ තියාගෙන ඉන්න අයත් ඉන්නවා... එයාලා ගැන වද විය යුතු නෑ... "උණ" මතුවෙන්නෙ නෑ කියන්නෙ තව කෙනෙක්ට දෙන්න තරම් එයාලගෙ ලේ වල වෛරස් එක නෑ කියන එකයි... වෛරස් එක තව කෙනෙක්ට දෙන්න පුලුවන් ගානට ලේ වල තියාගෙන, උණ ලක්ෂණත් පෙන්නන්නෙ නැතුව, හොරා වගේ ඉන්න අයව මිස් උනත් කමක් නෑ... එහෙම අය වැඩිය නෑ. අනික අපිට හොඳටම ෂුවර්නෙ උණ තියන අය ලෙඩේ බෝකරනවා කියලා. ඉතින් අපි ඒ අයව බ්ලොක් කරමුකො...!

බ්ලොක් කරනවා කියන්නෙ එයාගෙන් එහාට වෛරස් එක යවන්නෙ නෑ කියන එක. කරන විදියත් සරලයි... මොන ක්‍රමයෙන් හරි එයාට මදුරුවෙක් කන්න දෙන්නෙ නැතුව තියාගන්න ඕනෙ. වෙනත් වචන වලින් කිව්වොත්, මදුරුවාව ලෙඩාගෙන් බේරන්න ඕනෙ. උණ ගැනිලා ගෙදර හරි රෝහලේ හරි ඉන්නවා නම් අත්‍යාවශ්‍යම මොහොතක හැර අනිත් හැම වෙලාවෙම නෙට් එකක් යට ඉන්න. හැම වෙලාවෙම විකර්ශක ගාන්න. අත් කකුල් වැසෙන ලෙස දිග ඇඳුම් අඳින්න. දවස් පහක් වත් ඔය විදිහට ඉන්න ඕනෙ. ඒ අතරෙ, ලෙඩාගෙ වටේ ඉන්න අයව බේරගන්න එයාලටත් පුලුවන් හැම වෙලාවෙම නෙට්, විකර්ශක පාවිච්චි කරන්න කියන්න. ලෙඩාගෙන් හරි, ලෙඩාට වෛරසය දුන්න මදුරුවාගෙන්ම හරි, පවුලේ කෙනෙක්ටත් එන්න පුලුවන් නිසා, එයාලටත් අවධානයෙන් ඉන්න කියන්න.

එතකොට 1? ඒ කියන්නෙ වෛරස් එක... ඩෙංගු රෝගයට ප්‍රධාන වශයෙන් වග කියන්න ඕනෙ එයා... එයාව මරන්න තාම බෙහෙතක් හොයාගෙන නෑ... නමුත් කරනවා නම් තව ටිකක් වැඩිපුර අවධානය යන්න ඕනෙ තැනක් තමයි මේ වෛරස් එක මරණ එක. ඇත්තටම බෙහෙතක් නැති උනත් අපිට වෛරස් එක මරන්න ක්‍රමයක් තියනවා... ඒ තමා ස්වභාවිකවම වෛරස් එක වෙන කෙනෙක්ට යා නොදී ඇඟ ඇතුලෙ දවස් හතක් තියාගෙන හිටියම වෛරස් එක මැරිලා යනවා... ඒ වෛරස් එකට ජීවත් වෙන්න නම් දවස් හතකින් විතර පස්සෙ අලුත් ශරීරයක් ඕනෙ වෙනවා... අපි කරන්න ඕනෙ, ඔන්න ඔය කාලය තුල වයිරස් එක එක් කෙනෙක්ගෙ ඇඟ ඇතුලෙම තියාගෙන ඉන්න එක. වෙන කෙනෙක්ට යා නොදී... ඒක කරන්නෙත් අර මුලින් කියපු නෙට්, විකර්ශක පාවිච්ච්ය සහ දිග ඇඳුම් ඇඳීම වගේ වැඩ වලින්.

ඔන්න ඔහොමයි ඩෙංගු වලට "වග කිව යුත්තන්" පාලනය කරලා ඩෙංගු මර්ධනය කරන්නෙ. ඩෙංගු වෛරසය පතුරවන්න "වගකිවයුතු" හැමෝවම මර්ධනය කලොත් තමයි ඩෙංගුත් මර්ධනය කරන්න ලේසි...

ප.ලි. - මේකෙ සමහර උදෘත කොමා ("") ඇතුලෙ දාලා තියන සමහර වචන වලින් ඩබල් මීනින් එකක් එනවා වගේ තේරෙනවා... හිතලා කරපු දෙයක් නෙමේ... ඒකට මට කරන්න දෙයක් නෑ.

Comments

Popular posts from this blog

ඩෙංගු රෝගය ලංකාවෙන් තුරන් කිරීමට නම් ...

Are asymptomatic dengue “patients” a source of dengue infection to others?