ඩෙංගු බෝවෙන හැටි සහ එය ප්‍රායෝගිකව ඩෙංගු මර්ධනයට යොදා ගන්නා හැටි - ඉතා වැදගත් පැහැදිලි කිරීමක්

By Dr Hasinda Udalagama (hasindaudalagama@gmail.com)

1. වෛරසය සහිත ඩෙංගු රෝගියෙක්ගෙන් මදුරුවෙක් ලේ උරා බොනවා.

2. වෛරස් එක මදුරුවාගේ ඇඟ ඇතුලේ වර්ධනය වෙනවා... (බෝ වෙනවා). මේ වැඩේට දවස් 8-10ක කාලයක් යනවා.

3. ඒ මදුරුවා නිරෝගී කෙනෙක්ට විදිනවා... වෛරසය ඒ වෙලාවෙ එයාගෙ ඇඟට ඇතුලු වෙනවා.

4. ඒ කෙනාගේ ඇඟ ඇතුලේ හෙමීට භෙමීට වර්ධනය වෙනවා... මේ විදියට වෛරස් එක වර්ධනය වෙලා රෝගියාට රෝග ලක්ෂණ මතුවෙන්න (ප්‍රධානවම උණ) දෂ්ට කල දවසේ ඉඳලා දවස් 4-13ක කාලයක් යනවා.

5. උණ ගැනිලා දවස් 5ක් විතර යනකම් වෛරස් එක රුධිරයේ උපරිම අවස්ථාවෙ ඉන්නෙ. (Viraemia).

6. (ඉතා වැදගත්) තවත් කෙනෙක්ට වයිරස් එක බෝ කරන්න හැකියාව තියෙන්නෙ මෙන්න මේ උණ ගැනී මුල් දවස් පහේ දී...

7. නැවත වරක් අවධාරණය කරනවා... උණ ගැනී මුල් දවස් 5 තුල මදුරුවෙක් කෑවොත් රෝගය වෙන කෙනෙක්ට බෝවෙන්න ලොකු හැකියාවක් තියනවා.

8. රෝගියෙක් රෝහල් ගතවෙන්නෙ සාමාන්‍යයෙන් උණ ගැනිලා තුන්වෙනි දවසෙ. අඩුම උනොත් දෙවෙනි දවසෙ. එතකන් එයා එලියෙ සමාජයේ ඉන්නෙ..! එයා මදුරුවන්ට නිරාවරණය වෙලා ඉන්නෙ...!!

9. ඩෙංගු රෝගයේ මූලික ලක්ෂණය වෙන්නෙ එකවරම ගැනෙන තද උණ.

10. කාට හරි උණ ගැනුනොත්, (විශේෂයෙන් ඩෙංගු බහුල ප්‍රදේශයක) එයා ඒ සැනින් ගෙදර ගිහින් නෙට් එකක් ඇතුලෙ ඉන්න ඕනෙ... පුලුවන් කමක් තියනවා නම් NS1 Antigen Test එක උණ සෑදී පලවෙනි පැය 24ට පස්සෙ පැය 48ට කලින් කරගන්න ඕනෙ (දෙවෙනි දවස තුල). එහෙම කරලා පොසිටිව් උනොත් ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවෙලා, ඇඩ්මිට් වෙන්න අවශ්‍ය නැත්නම් ගෙදරටම වෙලා, පැය විසිහතරම නෙට් එකක් ඇතුලෙ ඉන්න ඕනෙ.

11. ඒ ටෙස්ට් එක නෙගටිව් උනා කියලා ඩෙංගු නැතැයි කියා හිත හදාගන්න බෑ. එහෙම අයත් ගෙදරටම වෙලා පැය විසි හතරම නෙට් එක ඇතුලට වෙලා ඉන්න ඕනෙ. දෙවෙනි, තුන්වෙනි දවස් වල Full Blood Count ටෙස්ට් එක කරගෙන වෛද්‍යවරයෙක් හමු වෙලා ඩෙංගුද, තමන් ඇඩ්මිට් වෙන්න ඕනෙද, කියලා දැනගන්න කම්, නෙට් එකට වෙලා ඉන්න ඕනෙ. ඒ අතර කලන්තය, ලේ යාම, වමනය, පාචනය, බඩේ කැක්කුම වගේ ලක්ෂණ මතු උනොත් ඉක්මනින් රෝහල් ගතවෙන්න ඕනෙ.

12. දැන් යන වසංගතය අනුව තුන්වෙනි දවස වෙනකොට හැදිලා තියෙන්නෙ ඩෙංගුද, වෙන උණද කියලා හොයා ගන්න පුලුවන්. එතකන් අඩුම වශයෙන් දවස් තුනක් නෙට් එකක් ඇතුලෙ ඉන්න ඕනෙ. ඔබට වැලඳුනේ ඩෙංගු නම්, ඒක ඇඩ්මිට් නොවී ගෙදරදීම සමනය කරගන්න පුලුවන් උනා නම්, ඔබ අනිවාර්යයෙන් දවස් පහක්වත් නෙට් එකක් ඇතුලෙ ඉන්න ඕනෙ. එලියට එන වෙලාවට අනිවාර්යයෙන්ම මදුරු විකර්ශකයක් (mosquito repellent) භාවිතා කිරීම ඉතා වැදගත්. විශේෂයෙන්, අත් කකුල් සම්පූර්ණයෙන් වැසෙන ලෙස දිගු ඇඳුම් ඇඳීමත් වඩා සුදුසුයි.

13. මේක හිතන තරම් අමාරු නෑ. රස්සාවට යන එක, ඉස්කෝලෙ යන එක, වගේ ඒවා මේ වෙලාවෙ හිතන්න එපා. ඔබට පැපොල, කම්මුල්ගාය වගේ දෙයියන්ගෙ ලෙඩ විදියට අපේ රටේ සලකන ලෙඩක් හැදුනොත් ඔබ ගෙදරින් එලියට යනවද? නෑනෙ.... මේකත් ඒ වගේ දෙයියන්ගෙ ලෙඩක් විදියට තමයි දැන් සලකන්නෙ. ඊට වඩා මාරාන්තික ලෙඩක්...

14 මාස හතරක්, අවම වශයෙන් ඩෙංගු රෝගීන්ගෙන් අඩක් (50%ක්) මදුරුවන්ට දෂ්ට කරන්න නොදී බේරගත්තොත්, මාස හතරක් ඇතුලත අපිට ඩෙංගු රෝගය අතුගා දමන්න පුලුවන්..! (සංඛ්‍යාලේඛන එක්ක ඔප්පු කල හැකියි...!!).

15. රෝග ලක්ෂණ නොපෙන්වන ඩෙංගු ආසාදිතයින් :-
මුලින් මතය තිබුනෙ 90% ක් ඩෙංගු ආසාදිතයින්ට රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ කියලා... නමුත් ඒ den1 කියන වෛරස් ප්‍රභේදය නිසා ඇතිවන ආසාදනය ගැනයි එහෙම කිව්වෙ. ලංකාවට මෙච්චර කල් තිබුනෙ den1 කියන වෛරස් ප්‍රභේදයයි. ඒක ගොඩක් අයට හැදිලා ලක්ෂණ මතු නොවී තියෙන්න ඇති. නමුත් දෙවෙනි පාරට වෙන ප්‍රභේදයක් හැදුනොත් ඇඟේ reaction එක වැඩි නිසා රෝග ලක්ෂණ පෙන්වන ප්‍රමාණය වැඩියි. අඩුම තරමේ එක දවසක උණක් හෝ එනවා... ඒ විතරක් නෙමේ ඩෙංගු රක්තපාත තත්ත්වයට උනත් යන චාන්ස් එක වැඩියි... ඉතින් දැන් මේ යන වසංගතයට හේතුව den2 කියන වෛරස් ප්‍රභේදය සක්‍රිය වීම. ඒ නිසා ආසාදිතයින් ගොඩක් අයට රෝග ලක්ෂණ මතු වෙනවා.

අනිත් කාරණය මදුරුවෙක්ට වෛරස් එක සම්ප්‍රේෂණය වෙන්න නම් viraemia කියන තත්ත්වය තියෙන්නම ඕනෙ. ඒ කියන්නෙ සක්‍රිය වෛරස් එක රුධිරයේ එක්තරා මට්ටමකට වඩා උඩින් තියෙන්න ඕනෙ. එහෙම viraemia එකක් තියෙනවා නම් ගොඩක් වෙලාවට රෝග ලක්ෂණ මතුවෙන්නම ඕනෙ. අඩුම තරමේ එක දවසක උණක් හෝ එන්න ඕනෙ. ඒ නිසා රෝගය සම්ප්‍රේෂණය කරන්න හැකියාව තියන අය අඳුන ගන්න ලේසිම ක්‍රමය "උණ තත්ත්වය"... මේ අයව වෙන්කරලා, මදුරුවන්ට දෂ්ට කරන්න නොදී බේරගත්තොත් වැඩේ ගොඩ...!

16. (අවධාරණය කරමින්...!!!) මේ වෙනකොට කරගෙන යන මදුරුවො බෝ වෙන තැන් හඳුනගෙන විනාශ කරන වැඩේත් දිගටම කරගෙන යන්න.

Comments

Popular posts from this blog

ඩෙංගු රෝගය ලංකාවෙන් තුරන් කිරීමට නම් ...

Are asymptomatic dengue “patients” a source of dengue infection to others?