රෝග ලක්ෂණ නොපෙන්වන ඩෙංගු ආසාදිතයින්ගෙන් අනෙක් අයට ඩෙංගු බෝ විය හැකිද?
බෝවන රෝග පාලනය පිලිබඳ එක්සත් රාජධානියේ විශේෂඥ වෛද්‍ය ලාල් ජයසිංහ විසිනි.
(පරිවර්තනය: වෛද්‍ය හසිත උදලාගම)
(පරිවර්තනය: වෛද්‍ය හසිත උදලාගම)
ඩෙංගු රෝග වසංගතය පාලනය කිරීමට නම් හඳුනා ගත් ඩෙංගු රෝගීන් වෙන්කර (isolation) ඔවුන් මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා කල යුතු බවට වන යෝජනාවක් මේ වන විට ඉදිරිපත් වී ඇත.
එම සංකල්පය සාධාරණීකරණය කෙරෙන්නේ ඩෙංගු වෛරසය සඳහා එකම ප්‍රභවය වන්නේ ඩෙංගු රෝගීන් පමණක් බව පවසමිනි. එසේ නම් ඩෙංගු රෝගීන් මදුරු දෂ්ටනයෙන් බේරුවහොත් එම ප්‍රභවයෙන් වෛරසය නිකුත්වීම සම්පූර්ණයෙන් නැවතී, දැනට වෛරසය ශරීරගත වී සිටින මදුරුවන්ගේ ජීවිත කාලය අවසන් වීමත් සමගම වසංගතය අවසන්වේ.
ඩෙංගු වෛරසය ශරීර ගත වුනත් රෝග ලක්ශණ පෙන්නුම් නොකරන පිරිසක් ද සිටින බව කවුරුවත් දන්නා කාරණයකි. (asymptomatic patients). මෙසේ රෝග ලක්ෂණ නොපෙන්වන පිරිසෙන් ද වෛරසය අනෙක් අයට සම්ප්‍රේෂණය වන බවටත්, ඒ නිසා ඉහත සඳහන් කල වැඩපිළිවෙල සාර්ථක නොවන බවටත් සාධාරණ ප්‍රති-තර්කයක් ඉදිරිපත් වී ඇත.
මෙම තර්ක පිලිබඳ විමසා බැලීමට ඩෙංගු ආසාදනය වන ආකාරය තේරුම් ගැනීම වැදගත් ය.
ඩෙංගු ආසාදනය වන ආකාරය
නිරෝගී අයෙක්ට ඩෙංගු වැලඳීමට නම් මුලින්ම ඔහු හෝ ඇයව ඩෙංගු වෛරසය ශරීරගත වූ මදුරුවෙක් විසින් දෂ්ට කල යුතුය. එම මදුරුවාට වෛරසය ඇතුලු වන්නේද වෙනත් ඩෙංගු රෝගියෙක්ගෙන් ලේ උරා බීමෙනි. සාමාන්‍යයෙන් සතියක් පමණ වන ඩෙංගු රෝග කාලසීමාව තුල රෝගියා විසින් වෛරසය තවත් මදුරුවෙක්ට සම්ප්‍රේශණය කිරීමේ හැකියාව දරන යම් සීමිත කාලසීමාවක් පවතී. මෙය සාමාන්‍යයෙන් දින පහක් පමණ වේ. ඇතැම් විට මෙම කාල සීමාව සතියක් පමණද වේ. මෙම කාල සීමාව තුලදී පමණක් රෝගියාට මෙම සම්ප්‍රේෂණ හැකියාව ලැබී ඇත්තේ එසේ සම්ප්‍රේෂණය කිරීමට තරම් ප්‍රමාණවත් වෛරස් ප්‍රමාණයක් රෝගියාගේ රුධිරයේ පවතින්නේ මෙම කාල සීමාවේ නිසා ය. රුධිරයේ එම ප්‍රමාණයකට වෛරසය නැති නම් මදුරුවාට ලබාගැනීමට ප්‍රමාණවත් වෛරස් ප්‍රමාණයක්ද රුධිරයේ නැත. එසේ ප්‍රමාණවත් අයුරෙන් වෛරස් ලබා නොගන්නා මදුරුවන් තුල ඩෙංගු වෛරසය වර්ධනය වන්නේ නැත. රෝග ලක්ෂණ පෙන්වීමට පෙර, එනම් බීජෞෂණ සමයේ දී හෝ රෝග ලක්ෂණ පහව ගිය පසු හෝ, රෝගියාගේ රුධිරයේ ඒ ප්‍රමාණයට වෛරසය නැත. එම මට්ටමට වෛරසය රුධිරයේ අඩංගු බවට ඇඟවෙන කදිම රෝග ලක්ෂණය නම් 'උණ' ලක්ෂණයයි. උණ නැත්නම් එම ආසාදිතයාට වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව බොහෝ දුරට නැත.
රෝග ලක්ෂණ නොපෙන්වන "රෝගීන්"
අප විසින් නිරාකරණය කරගත යුතු තවත් කාරණයක් වන්නේ රෝග ලක්ෂණ නොපෙන්වන අයව නිවැරදිව වෙන්කර හඳුනා ගන්නේ කෙසේද යන්නයි. එය සිදු කල හැක්කේ පහත පරිදි ය.
ඒ සඳහා යම් පුද්ගලයින් කණ්ඩායමක් තෝරාගෙන ඔවුන්ව වසරක් පමණ කාලයක් පුරාවට පරීක්ෂා කල යුතුය. පරීක්ෂණය පටන් ගන්නා විට ඔවුන් සියලු දෙනා රෝග ලක්ෂන නොපෙන්වන අය විය යුතු අතර ඔවුන්ගෙන් රුධිරයේ ප්‍රතිදේහ පරීක්ෂාව කර මීට පෙර ඩෙංගු රෝගය වැලඳී ඇත්ද නැත්ද කියා තහවුරු කරනු ලැබේ. මින් පසුව එම කණ්ඩායමේ පුද්ගලයින්ව නිරන්තර පරීක්ෂාවටත් ලක් කෙරේ. මෙහිදී එම කාල සීමාව පුරා ඔවුන්ට රෝග ලක්ෂණ මතුවේ දැයි සොයා බැලීම සහ හැකිනම් දේහ උෂ්ණත්වයත් පරීක්ෂා කර උණ මතු වේදැයි ද සොයා බැලීමද කල යුතු ය. එසේ කාට හෝ රෝග ලක්ෂණ හෝ උණ මතු වුවහොත් ඔවුන්ව ඩෙංගු වෛරසය පිලිබඳ පරීක්ෂණ වලට යොමු කරනු ලැබේ. එම පරීක්ෂණ වලින් ඩෙංගු බවට තහවුරු වුව හොත් ඔවුන්ව ඩෙංගු රෝගීන් බවට නම් කරනු ලැබේ.
කෙසේ වෙතත් පරීක්ෂණ සමය අවසානයේ සියලු දෙනාවම නැවත ප්‍රතිදේහ පරීක්ෂාවට බඳුන් කරනු ලැබේ. යම් අයෙක්ගේ මෙම ප්‍රතිදේහ පරීක්ෂාව පරීක්ෂණයට ඇතුලත් වන මුල් අවස්ථාවේ නෙගටිව් (negative) වී, කාල සමය තුල කිසිදු රෝගලක්ෂණයක් නොපෙන්වා, පරීක්ෂණ කාලය අවසානයේ එම ප්‍රතිදේහ පරීක්ෂාව පොසිටිව් (positive) වුවහොත් ඔහුව "රෝග ලක්ෂණ නොපෙන්වූ ආසාදිතයෙක්" (asymptomatic patient) ලෙස නම් කල හැක.
අපට ළඟම උදාහරණයක් මේ සඳහා ඉදිරිපත් කල හැක. එනම් ජාතික ඩෙංගු පාලන ඒකකයේ වෛද්‍ය හසිත තිසේරා විසින් 2008-2010 කාලය තුල බොරැල්ල ප්‍රදේශයේ දී සිදු කල පර්යේෂණයයි.
එහිදී අවුරුදු 12 ට අඩු දරුවන් 799 දෙනෙකු මාස 16 ක කාලයක් පරීක්ෂණයට යොදා ගන්නා ලදී. මෙම කාලසීමාව තුලදී 681 වතාවකදී උණ වාර්තා විය. මෙම උණ වාර්තා වීම් වලින් 27 දෙනෙක් ඩෙංගු වෛරසය සඳහා කල පරීක්ෂණද ඇතුලු අනෙකුත් පරීක්ෂණ වලින් ඩෙංගු රෝගීන් බවට තහවුරු කරගන්නා ලදී. ඔවුන්ව "රෝග ලක්ෂණ පෙන්නුම් කල ආසාදිතයින්" ලෙස නම් කල හැක.
පරීක්ෂණය මුලදී ප්‍රතිදේහ පරීක්ෂාව නෙගටිව් ලෙසට හඳුනා ගත් නමුත් පරීක්ෂණ කාලයතුලදී කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා කාල සීමාව අවසානයේ ප්‍රතිදේහ පරීක්ෂාව පොසිටිව් (positive) වූ රෝගීන් 40 දෙනෙක්වද හඳුනා ගන්නා ලදී. මුලින් පැහැදිලි කල ආකාරයට එම 40 දෙනා "රෝග ලක්ෂණ පෙන්නුම් නොකල ආසාදිතයින්" ලෙසට නම් කල හැක. මෙමගින් අපට රෝග ලක්ෂණ පෙන්නුම් නොකල හා පෙන්නුම් කල ආසාදිතයින් ගේ අනුපාතයක් ගණනය කල හැක. එය 40/27 ලෙස ගත් කල දලවශයෙන් 1.4 ක් පමණ වේ. වෙනත් වචන වලින් කිව හොත් සෑම රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඩෙංගු රෝගී දරුවෙකුටම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන එහෙත් වෛරසය ආසාදනය වූ දරුවන් 1.5ක් සිටි බවට පරීක්ෂණයෙන් අනාවරණය විය.
දැන් නැගෙන ප්‍රශ්නය නම් මෙම රෝග ලක්ෂණ පෙන්නුම් නොකල ආසාදිත දරුවන් 40 දෙනාට වෛරසය ආසාදනය වූ කාල සීමාව තුල දී එම වෛරසය තමන්ගෙන් මදුරුවන්ට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තිබුනා ද යන්නයි. අපගේ පිලිතුර නම් එසේ වීමේ හැකියාව අඩු බවයි. එම දරුවන්ට උණ මතු නොවීමෙන් ගම්‍ය වන්නේ ඔවුන්ගේ රුධිරයේ මදුරුවාට සම්ප්‍රේෂණය කිරීමට ප්‍රමාණවත් වෛරස ප්‍රමාණයක් (viraemia) නොතිබූ බවයි.
උණ මතුවීමට දිනකට පෙර මදුරුවකු රුධිරය උරා බීවොත් රුධිරයේ ඇති වෛරසය මදුරුවාට සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇත. නමුත් මෙම පැය විසිහතරක පමණ කාලය පිලිබඳ අපට කලහැකි කිසිවක් නැත. හේතුව, උණ ගැනෙන තෙක් එවන් පුද්ගලයකු හඳුනාගැනීමේ හැකියාවක් අපට නොමැති වීමය. මේ නිසා උණ මතුවීමට පැය 24කට පෙර කාලය තුල රෝගියා මදුරුවන්ගෙන් පරෙස්සම් කිරීම සිදු කල නොහැක්කකි. අප මතක තබා ගත යුතු තවත් කාරණයක් වන්නේ මෙම යෝජිත ඩෙංගු රෝග වසංගතය පාලනය කිරීමේ ක්‍රමයට අනුව එම වසංගතය පාලනය කිරීමට නම් සම්ප්‍රේෂණ හැකියාව ඇති (infectious) සියලුදෙනා මදුරුවන්ගෙන් පරෙස්සම් කිරීම සිදු කිරීම අත්‍යාවශ්‍ය නොවන බවයි. පහත බ්ලොග් සටහනේ විස්තර කරන පරිදි අප එවැනි සම්ප්‍රේෂණ හැකියාව දරන්නන් 50%ක් මදුරු දෂ්ටනයෙන් වැලැක්වුවහොත් මාස 6 ක් තුලදී අපට ඩෙංගු වෛරසය ලංකාවෙන් තුරන් කිරීමට වුවද හැකියාව ඇත (බලන්න: How long do we have to isolate dengue patients? Is 4 months enough?).
Dr Lal Jayasinghe
laljayasinghe@hotmail.com
Comments
Post a Comment