ඩෙංගු රෝගය ලංකාවෙන් තුරන් කිරීමට නම් ...

විශේෂ ලියුම්කරුවකු විසිනි

ශ්‍රී ලංකාවේ දැන් ඩෙංගු වසංගතයක් ව්‍යාප්තවී ඇති බව රහසක් නොවේ. මෙය සුළු කාලයකදී සිදුවූවක් නොව ක්‍රමක්‍රමයෙන් අවුරුදු ගණනාවක් තිස්සේ සිදුවුන දෙයකි. වර්ෂ 1962 සිටම ලංකාවේ ඩෙංගු රෝගය තිබූ බව වාර්තා වී ඇත. එහෙත්, එම රෝගය මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවීය. රට පුරාම හඳුනාගත් රෝගීන් ගණන ඉතා සුළුවිය. වර්ෂ 2004 සිට අවුරුදු පතා රෝගීන් ගණන වැඩිවී ඇති බව පෙනේ. 2008 සිට රෝගීන් ගණන සීග්‍රයෙන් ඉහල ගොස් ඇත.

මේ කාලය තුල බලධාරීන් රෝගය පාලනය කිරීමට මහත් උත්සාහයක් ගෙන ඇත. මෑතක සිට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අමතරව පොලිසිය සහ අනිත් හමුදාද, අනිකුත් රජයේ ආයතනද සමග ජාතික ඩෙංගු මර්දන ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මකයි.


මේ සමග ඇති 2වැනි ප්‍රස්තාර සටහනින් පෙන්වා ඇති පරිදි 2004 සිට 2012 දක්වා කාලය තුල “බ්‍රිටෝ ඉන්ඩෙක්ස්” (BI) දර්ශකය ක්‍රමයෙන් පහත වැටි ඇත. “බ්‍රිටෝ ඉන්ඩෙක්ස්” දර්ශකයෙන් දක්වන්නේ නිවෙස් අවට මදුරුවන් බෝවෙන ස්ථාන පිළිබිඹු කරන සංසන්ධනයකි.



(2017 දී, අවු. 5 කට පසු, “බ්‍රිටෝ ඉන්ඩෙක්ස්” ඊටත් වඩා පහල යනු බව නොඅනුමානයි).

කෙසේ වෙතත් මේ වකවානුව තුල එනම්, 2004 සිට 2012 දක්වා කාලයේ, ඩෙංගු රෝගීන්ගේ අඩුවක් දක්නට නොලැබේ. එපමණක් නොව, ඒ කාලයේදී  ඩෙංගු රෝගීන්ගේ ගණන ඉතා සීග්‍රයෙන් ඉහල ගොස් ඇත (රතු ඉර).

ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා අපි අනුගමනය කරන ක්‍රමවේදය කුමක්ද? එය නම්, නිවෙස් සහ නිවෙස් වට මදුරුවන් බෝවීම වැලැක්වීමයි. 

මෙම ප්‍රතිපත්තිය අසාර්ථක බවට සාධක තිබෙත්දීත් එයම අනුගමනය කරන්නේ, වෙනත් විකල්පයක් නැතයි යන අදහසත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බලධාරින් නිර්දේශ කර ඇත්තේත් එය බැවිනි.

නමුත්, අප විසින් මේ ප්‍රතිපත්තියම තව දුරටත් පවත්වාගෙනයාම ප්‍රඥාවන්තද?

ප්‍රස්තාර අංක. 3 දක්වන පරිදි 2012 සිට 2016 දක්වා වර්ෂයක් පාසා දිවයිනේ ඩෙංගු රෝගීන් ගණන ක්‍රමයෙන් වැඩිවී ඇත (දිවයන සති 4 සාමාන්‍ය, running 4 weekly mean) සමහර සතිවල අඩුවක් දක්නට පුළුවන් වූවත් සමස්ත වර්ෂයම ගත් කල්හි එකම රටාවකට වර්ෂයක් වර්ෂයක් පාසා වැඩිවී ඇති බව පෙනේ.


නිතිපතා ක්‍රියාත්මක මදුරු මර්දන වැඩසටහනට අමතරව,  දින 3නේ, 5හේ, හෝ සතියක් පුරාම පවත්වන  විශේෂ වැඩසටහන්ද වර්ෂ කීපයක්ම පවත්වා ඇත.



පසුගිය අවු. 4 (2012-2015)  තුල වාර්තා වූ රෝගීන් ගණන (සති හතර බැගින් සාමාන්‍යය), ප්‍රස්තාර අංක. 4 හි නිල් පාටින් දක්වා ඇත. 2016 තුල වාර්තාවූ රෝගීන් ගණන රතු පැහැයෙන් දක්වා ඇත. මාර්තු 29, ජුනි 15, ජූලි 30, සැප් 27 යනුවෙන්, දක්වා ඇත්තේ විශේෂ ව්‍යාපෘති ආරම්භ කල දිනයි. පරිගකය විසින්, රතු සහ නිල් ඉරවල් දෙක ඇඳී ඇති ආකාරයෙන් පෙනීයන්නේ විශේෂ මර්දන ව්‍යාපෘති වලින් කිසිම වෙනසක් ඇති නොවූ බවයි. 

එමනිසා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගය තුරන් කිරීමට නම් අප විකල්ප මාර්ගයක් සෙවිය යුතුව ඇත. විකල්ප මාර්ගයක් සෙවීමට පෙර එක්තරා ආකල්පයක් වෙනස් කල යුතුයි. එනම්, ඩෙංගු රෝගය රටින් බැහැර කිරීමට ඇති එකම මාර්ගය මදුරුවන් බෝවීම වැලැක්වීමයි" යන පුර්ව නිගමනය වෙනස් කල යුතුයි.

2004 වර්ෂයේ සිට වාර්තාවූ ඩෙංගු රෝගීන් විශ්ලේෂණය කිරීමේදී යම් යම් ලක්ෂණ මතුවී පෙනේ. දිස්ත්‍රික්ක වශයෙන් බලන විට දිස්ත්‍රික්කයක් වඩාත් ජනාකීර්ණද, ඒ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමද වඩා සීග්‍ර වේ. එමෙන්ම ජනාකිර්ණභාවය අඩු දිස්ත්‍රික්කවල රෝගය පැතිරීමේ ප්‍රවනතාවයද අවම වේ. ප්‍රස්තාර අංක. 5 බලන්න.

එමෙන්ම එක කාර්තුවක කොපමණක් ඩෙංගු රෝගීන් බිහිවෙයිද යන්න රඳා පවතින්නේ ඊට පෙර කාර්තුවේ සිටි රෝගීන් ගණන මතයි. 

ඉහත සඳහන්කාරණා දෙකම, ඕනෑම බෝවෙන රෝගයක ලක්ෂණයි. ශ්‍රී ලංකාවේ දැනට ව්‍යාප්ත වී ඇති ඩෙංගු වසංගතය, බෝවෙන රෝගයක් සේ පැතිරෙන ආකාරය මතකයට ගෙන, ඕනෑම බෝවෙන රෝගයක් මර්දනය පිණිස බොහෝ කාලයක් තිස්සේ භාවිතා කර ඇති ක්‍රමවේදයක් අපට ප්‍රයෝජනයට ගැනීමට හැකිය. බෝවෙන රෝගයකට සාර්ථක ප්‍රතිකාරයක් නැතිවිට, සහ එන්නතක් ද නැතිවිට, එම රෝගය මර්දනය කිරීමට ඇති එකම මග නම් “හුදකලා” කිරීමයි (isolation). එයටම භාවිතා කරන තවත් වචනයක් නම් “නිරෝධායන” යයි (කොරන්ටින්, quarantine).

හුදකලා කිරීමෙන් සිදුවෙන ප්‍රතිඑලය නම්, රෝගාතුරව සිටින පුද්ගලයෙකුගෙන් රෝගයට හේතුවූ වෛරසය හෝ බැක්ටීරියාව වෙනත් (නිරෝගී) පුද්ගලයකු කරා රැගෙන යාම වැලැක්වීමයි. රෝගියකුගෙන් වෙනත් කෙනෙකුට රෝග කාරකය රැගෙන යාම නොයෙක් ආකාරයකින් සිදුවිය හැකිය. උදා: ස්පර්ෂයෙන්, කැස්සෙන් හෝ කිඹුහුන් මගින් මෙන්ම මදුරුවෙක් මගින් ද සිදුවිය හැක.

බෝවෙන රෝගයක් පැතිරවීමට හේතු සාධක අතර, “ඵලදායි ප්‍රත්‍යුත්පාදන අනුපාතිකය” (Effective Reproduction Rate) හෝ “R” නම් සංකල්පයක් තිබේ. මෙයින් අදහස් කරන්නේ, එක රෝගියෙක්, නිරෝගිව සිටින පුද්ගලයින් කී දෙනෙකුට රෝගය පතුරනවාද යන්නයි. රෝගියා තම රෝගය එක් අයෙකුට පමණක් බෝ කරන්නේ නම් R=1; රෝගියා එක් අයකුට වඩා රෝගය බෝ කරන්නේ නම් R>1; එමෙන්ම (සමස්ථයක් වශයෙන් ගත් කල්හි), එක් රෝගියෙක්බෝ කරන පුද්ගලයින් සංඛ්‍යාව එකට අඩු වූ විට, R<1.

R=1 තත්ත්වයක් ඇති අවස්ථාවලදී රෝගය රටේ පැතුරුනත්, වසංගතයක් මෙන් පැතිරෙන්නේ නැත. නමුත්, R>1 කාලයක් උදා වුවහොත් රටේ වසංගතයක් පැතිරේ. එමෙන්ම, අපට R<1 තත්ත්වයක් උදා කරගන්නට හැකිවුනොත්, පවතින වසංගතයක් ද පාලනය කල හැකිවේ.


එයින් පෙනී යන්නේ ඩෙංගු වසංගතය පාලනය කිරීමට සෑම ඩෙංගු රෝගියෙක් ම හුදකලා කිරීම අනවශ්‍ය බවයි. ප්‍රස්තාර අංක. 6 හි දක්වා ඇති පරිදි රෝගය මුලිනුපුටා දැමීමට යන කාලය රඳා පවතින්නේ ඩෙංගු රෝගීන් හුදකලා කිරීම අප කොතරම් දක්ෂව කරන්නේද යන්න අනුවයි


ඩෙංගු රෝගීන්ගෙන් 50% ක් හුදකලා කිරීමට අප සමත් වුවහොත්, ඩෙංගු රෝග වෛරස පරම්පරා හයකින් පමණ --එනම් මාස හතරකින් පමණ-- රෝගය පාලනය කිරිමට බොහෝ ඉඩ ඇත.

ඊළඟට පැන නගින ප්‍රශ්නය නම් අප ඩෙංගු රෝගීන් හුදකලා කරන්නේ කෙසේද යන්නයි.  අප විසින් කල යුත්තේ සාමාන්‍යයෙන් හුදකලා යනුවෙන් අදහස් කරන ආකාරයට නොව, රෝගියා මදුරුවන්ගෙන් හුදකලා කිරීමයි. වෙනත් වචනයෙන් කිවහොත් රෝගියා හට මදුරුවන් දෂ්ට කිරීම වැලැක්වීමයි.

මෙම යෝජනාවට විරුද්ධවී නැගී සිටින්නෝ බොහොමයක් සිටිනවාට නොඅනුමානයි. ඔවුන්ගේ තර්කය වන්නේ එය ප්‍රායෝගික නොවන බවයි.

මම ඔවුන්ගෙන් ප්‍රශ්නයක් ඇසීමට කැමැත්තෙමි. දැනට ක්‍රියාත්මක වෙමින් පවතින මදුරුවන් බෝවීම වලක්වන පිළිවෙත කුමන අරමුණක් නිසා දියත් ක ඇතිද? එයින් බලාපොරොත්තු වන්නේද මම යෝජනාකරන ප්‍රතිපලයමයි.  එනම්, මදුරුවන් ඩෙංගු රෝගීන් දෂ්ට කිරීම වැලැක්වීමයි. ඉඩීස් මදුරුවෙක් ඩෙංගු රෝගියෙක් දෂ්ට නොකරනතාක් ඌට ඩෙංගු රෝගය පැතිරවීමට නොහැකිය. 

මදක් සිතුවොත්, දැනට ක්‍රියාත්මක ප්‍රතිපත්තිය මොනතරම් දීර්ඝ කාලයක් නාස්තිකර ඇති බව ඔබට වැටහෙනු ඇත.  උදාහරණයක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය අරගනිමු. එහි ජනගහනය 2,000,000 පමණ වේ.  මසකට කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 800 පමණ වාර්තාවේ. එසේ බලනවිට එක මදුරුවෙක් ඩෙංගු රෝගියෙක් දෂ්ට කරන විට, නිරෝගී පුද්ගලයින් 1,999,200 (2,000,000 - 800) තවත් මදුරුවන් විසින් දෂ්ට කරනු ලබයි. මෙයින් අදහස් කරන්නේ, එක මදුරුවෙක් ඩෙංගු රෝගියෙක් දෂ්ට කිරීම වැලක්වීමට මදුරුවන් 2,500ක් (2,000,000 / 800) බිහිවීම වැලැක්විය යුතුයි!

යෝජිත විසඳුමට විරුද්ධව නැගිය හැකි තවත් තර්කයක් නම්, එයට ප්‍රජාවගේ සහයෝගය නොලැබෙන බවයි. එයත් හරයක් නැති තර්කයක් බව කොළඹ දිස්ත්‍රික්කයම ගෙන බලමු. දිස්ත්‍රික්කය පුරාම දල වශයෙන් නිවෙස් 500,000ක් පමණ ඇත. ඩෙංගු මර්ධන බලධාරීන් බලපොරොත්තු වෙන්නේ මේ නිවෙස් සහ ගෙවතු 500,000 තුල මදුරුවන් බෝ නොවී ආරක්ෂා කිරීමයි. මම යෝජනා කරන්නේ රෝගීන් 800 ක් ආරක්ෂා කිරීමයි!

එපමණක් නොව, නිවැසියන්ට බොහෝ විට නිවසේ හෝ ගෙවත්තේ මදුරුවන් බෝවෙන තැන් සොයාගන්නටද අපහසුය. උදා: වහල උඩ, ගස් බෙන වල, පොළව යට ආදිය. නමුත් ඩෙංගු රෝගියා (උණ ඇති බැවින්) ඉතා පහසුවෙන් හඳුනාගෙන ආරක්ෂා කල හැකිය. එම නිසා ප්‍රජාවගේ සහයෝගය බලාපොරොතු විය හැක්කේ මෙයින් කුමකටද? -- මදුරුවන් බෝවෙන තැන් සොයාගන්නටද? ඩෙංගු රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්නටද? අවසාන වශයෙන් ඩෙංගු වසංගතයට වගකිවයුත්තේ මදුරුවන් නොව ආසාදිත රෝගීන් බව ඔප්පු කිරීමට පහත දැක්වෙන ප්‍රස්තාරය සෑහෙනු ඇත.

1966 දී ගොඩනැගිලි දර්ශකය (මදුරුවන් බෝවීම් ඉහල මට්ටමක) 50 වූ අවදියක ආසාදිත රෝගීන් ගණන  ජනතාව 100,000 ට 50ක් පමණ විය.  එහෙත් වසර 2005 වන විට මෙම දර්ශකය 2 දක්වා අඩුකල  අවදියක ආසාදිත රෝගීන් ගණන ජනතාව 100,000 ට 300 ක් දක්වා විශාල වැඩිවීමක් පෙනේ.

එබැවින් සිංගප්පූරුවේ වුවද, මදුරුවන් බෝවීම පාලනය කිරීමෙන් පමණක් ඩෙංගු ව්‍යාප්තිය නතර කල නොහැකි බව බලධාරීන් විසින් පිළිගෙන ඇත. එමනිසා 2016 වසරේ සිට ජනතාව වෙත පහත සඳහන් අතිරේක නිර්දේෂ යොමුකර ඇත.

පහත සඳහන් අවස්ථාවලදී මදුරු විකර්ෂක ආලේපන (insect repellent) භාවිතා කල යුතුය:-
  • ඔබ ඩෙංගු රෝගියකු ලෙස තහවුරුවී ඇති විට හෝ සැකසහිත උණෙන් පෙලෙන විට (ඩෙංගු රෝගියකු උගත් විට ඔහුගේ රුධිරයේ ඩෙංගු  වෛරසය අඩංගු වේ. එබැවින් Aedes මදුරුවන් මගින් එම වෛරසය පවුලේ සාමාජිකයන්ට හා අසල්වැසියන්ට පැතිරීමට ඉහල ප්‍රවනතාවයක්ඇත).
  • පවුලේ සාමාජිකයකු හෝ අසල්වැසියකු ඩෙංගු රෝගියකු ලෙස තහවුරුවී ඇතිවිට.
  • ඔබගේ පළාත ඩෙංගු ඝහන කලාපයක් ලෙස ප්‍රකාශ කර ඇතිවිට (එම කලාප දැක්වෙන සිතියමක් ප්‍රකාශ කර ඇත).
  • ඔබ ඩෙංගු ඝහන කලාපයක් හෝ මදුරුවන් බහුල ප්‍රදේශයකට යා යුතු අවස්ථාවලදී.
(http://www.dengue.gov.sg/subject.asp?id=160)


නියම සතුරා කවුද?

ඇත්ත වශයෙන්ම නියම සතුරා මදුරුවා නොවන බව අමතක නොකළ යුතුය. 1962 සිට මේ දක්වා ඩෙංගු රෝගීන් ගණන 50,000 දක්වා ඉහළ ගියද, ඊට සමගාමීව (aedes) මදුරු හනය 50,000 ගුයකින් වැඩිවූ බවක් කිසිවකු විසින් මොහොතකටවත් විශ්වාස නොකර බව සහතිකය.

ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ ඩෙංගු  වෛරස හනය 50,000 ගුණයකින් වැඩිවීමයි. 1962 සිට අප විසින් කර ඇත්තේ අප ශරීර තුල ඩෙංගු  වෛරස ප්‍රතිචක්‍රීකරණය කිරීමයි. සෑම ඩෙංගු ආසාදනයකදීම රට තුල ඇති  ඩෙංගු  වෛරස හනය වැඩිවේ.

එහෙත් මෙම සටනේදී ශ්‍රී ලංකාව වෙනත් රටවලට වඩා වාසි සහගත කරුණු කිහිපයක් ඇත:-

·       ශ්‍රී ලංකාව ඉන්දියාව පමණක් අසලින් ඇති දූපතක් වීම.
·       දෛනික ලෙස විශාල වශයෙන් ඩෙංගු වෛරස හෝ මදුරුවන් වුවද රැගෙන ආ හැකි පුද්ගල ආගමනයක් නොමැති වීම (සිංගප්පූරුවේ මෙන්).
·       දියුණු සංනිවේදන පද්ධතියක් සහිත කුඩා දිවයිනක් බැවින් නව ඩෙංගු පාලන ක්‍රමවේදයක් ශීග්‍රයෙන් ව්‍යාප්ත කිරීමේ හැකියාව.

ඒ සැමටත් වඩා ඩෙංගු ව්‍යාප්තියේ නිරවද්‍ය ගති ලක්ෂණ පහසුවෙන් හඳුනාගත හැකි උගත් හා නුවණැති ජනතාවක් සිටීම වැදගත් වේ. එබැවින්  ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ප්‍රචලිත කිරීම හා ජනතා දායකත්වය ලබාගැනීම ඉතාමත් පහසු වනු ඇත.

ඉතාමත් උචිත ක්‍රියාවලිය වශයෙන් මම යෝජනා කරන්නේ, දැනට ක්‍රියාත්මක මර්දන වැඩ සටහන නොනවත්වා කරගෙන යන අතර, රෝගීන් බහුල දිස්ත්‍රික්ක වලින් දුර බැහැර එක දිස්ත්‍රික්කයක, යෝජිත මර්දන ක්‍රමයද (දැනට ක්‍රියාත්මක ක්‍රමයට අමතරව) දියත් කිරීමයි. සති ගණනකින් ප්‍රතිපල අපේක්ෂා කල හැකිය. සාර්ථක නම් රට පුරාම ව්‍යාප්ත කල හැකිවේ.

(ඉහත දක්වා ඇත්තේ සාරංශයක් පමණි. සම්පුර්ණ විමර්ශන වාර්ථාව සඳහා "How to Eradicate Dengue Virus from Sri Lanka - Detailed Report" වෙත පිවිසෙන්න).

ඔබගේ අදහස් මෙම ඊමේල් ලිපිනයට යොමුකරන්න: avinsa@hotmail.com

Comments

Popular posts from this blog

Are asymptomatic dengue “patients” a source of dengue infection to others?