අපගේ ඩෙංගු මර්ධන උපක්‍රමය ගැන සමාජ මාධ්‍ය වල දක්වා ඇති කරුණු වලට ප්‍රතිචාරය

ප්‍රථමයෙන්ම මෙහි ඇති කරුණු ගැන එකගව හෝ විරුද්ධව හෝ අදහස් දැක්වූ සැමට ස්තුතියි. සමහර අදහස් බොහෝ දෙනෙක් විසින් ප්‍රකාශ කරන බව පෙනේ. එම නිසා නොපමාවම ඒ අදහස් ගැන ප්‍රතිචාරයක් දැක්විය යුතු බව අපට හැඟුනි. එමෙන්ම, මුලින්ම සඳහන් කලයුතු තවත් කරුණක් ඇත. මේ බ්ලොග් එකේ ඉලක්කය වන්නේ ලංකාවෙන් ඩෙංගු රෝගය තුරන් කිරීමට නව ක්‍රමයක් යෝජනා කිරීම සහ ඒ යෝජනාව ගැන අදහස් හුවමාරු කරගැනීම පමණි.

යෝජනා කර ඇති නව උපක්‍රමය නම් ඩෙංගු “රෝගීන්” මදුරුවන්ගෙන්“හුදකලා” කිරීමයි. “රෝගීන්” ලෙස දක්වා ඇත්තේ ඩෙංගු වෛරසය මදුරුවෙකුට “පාස්” කිරීමට ඉඩ ඇති ඕනෑම පුද්ගලයෙකුටයි. එමෙන්ම “හුදකලාව” යනුවෙන් අදහස් කරන්නේ තනි කිරීම නොව මදුරුවන් දෂ්ට කිරීම වැලැක්වීමයි. ඒ අනුව මදුරුවන් පලවා හැරිමට මදුරු විකර්ෂක (repellent) භාවිතයත්, මදුරු දැල් භාවිතයත්, මුලු ශරීරය වැසෙන සේ දිග ඇඳුම් ඇඳීමත්, හුදකලා කීරීමක් සේ සැලකිය හැකියි.

පාඨකයන් විසින් වැඩියෙන්ම අදහස් දක්වා ඇති කරුණු නම්:-

1. රෝග ලක්ෂණ ඉස්මතුවී නොමැති ඩෙංගු “රෝගීන්”

2. රෝගියෙක් විසින් මදුරුවෙකුට වෛරසය ලබා දීමට ප්‍රවනතාවයක් ඇති දින ගණන

3. ඩෙංගු වැළඳුනු මදුරුවෙක් බිත්තර මගින් උගේ පැටවුන්ට වෛරසය පැවරීමට ඇති හැකියාව

4. සම්පත් නැතහොත් ප්‍රතිපාදන

1. රෝග ලක්ෂණ ඉස්මතුවී නොමැති ඩෙංගු “රෝගීන්”

රෝග ලක්ෂණ නොදක්වන පුද්ගලයින් ගැන බොහෝ දෙනා සඳහන් කර ඇත. සමහරකගේ අදහස වූයේ එවැනි“රෝගීන්” රෝග ලක්ෂණ පෙන්වා ඇති පුද්ගලයින්ට වඩා බහුතරයක් සිටින බවයි. එපමණක් නොව, එවැනි පුද්ගලයින් ගෙන් මදුරුවන්ට වෛරසය බෝවීමට ඉඩ ඇති බැවින් අප යෝජනා කරන උපක්‍රමය අසාර්ථක විය හැකි බවත්ය. 

රෝග ලක්ෂණ නොදක්වන රෝගීන්ගේ ප්‍රතිශතය කොපමණදැයි නිසැකයෙන්ම හඳුනා ගැනීම ඉතා දුෂ්කරය. බොහෝවිට එය කාලයෙන් කාලයට සහ ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙන්ම වෛරස STRAIN එක අනුව වෙනස් වීමට ඉඩ ඇත. ශ්‍රී ලංකාවේ දියත් කල එක පරීක්ශණයක් රෝගීන් සහ රෝග ලක්ෂණ නොදක්වන “රෝගීන්” ගේ අනුපාතය 1.4 බව සොයාගෙන ඇත. 

කෙසේ වෙතත් වැදගත් කරුණක් නම් රෝග ලක්ෂණ නොදක්වන “රෝගීන්” විසින් මදුරුවන්ට ඩෙංගු බෝ කල හැකිද යන්නයි. මේ කරුණ නිරාකරණය කිරීමට නම් රෝග ලක්ෂණ නොදක්වන පුද්ගලයින් සේ නම්කර ඇත්තේ කාටද යන්න සලකා බැලිය යුතුය. ඩෙංගු වෛරසයට විරුද්ධ ANTIBODIES තිබුන නිසා මොහු රෝග ලක්ෂණ නොදැක්වුවත් රෝගය ශරිරගත වූවා සේ සලකනවාද, නැතිනම් ඔහුගේ ඇඟේ ඩෙංගු වෛරසය ඇත්ත වශයෙන්ම තිබුනාද යන්න දැනගැනීම ඉතාමත් වැදගත්ය. එසේ වෛරස තිබුනා නම් ඔහුට රෝගය පතුරුවන්න ඉඩ ඇත. වෛරසය තිබුනා පමණක් නොව, ප්‍රමාණවත් වශයෙන් තිබිය යුතුය. සැලකිය යුතු ප්‍රමාණයක් ශරීරගත වු විට අනිවාර්යයෙන්ම රෝග ලක්ෂණ, විශේෂයෙන්ම උණ හටගනී. එසේනම් උණ නැත්තේ වෛරසය ප්‍රමාණවත්ව නැති නිසාය. එම නිසා රෝග ලක්ෂණ නොදක්වන පුද්ගලයන්ගෙන් මදුරුවන්ට ඩෙංගු වෛරසය බෝවීමට ඉඩ අවම යයි නිගමනය කල හැක. 

2. රෝගියෙක් විසින් මදුරුවෙකුට වෛරසය ලබා දීමට ප්‍රවනතාවයක් ඇති දින ගණන

බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ දෙවෙනි කාරනය නම්, රෝගීන් විසින් මදුරුවෙකුට වෛරසය ලබාදීමට ඉඩ ඇති දින ගණනයි. ඔවුන්ගේ තර්කය නම්, ඩෙංගු රෝගියකුගේ ඇඟේ වෛරසය රැඳී පවතින්නේ ඉතා සුලු කාලයක් බැවින් රෝගියා හුදකලා කරන අවස්ථාව වන විට ඔහුගේ ඇඟේ වෛරසය නොමැති බැවින් යෝජිත උපක්‍රමය අසාර්ථක බවයි. ඔවුන් දක්වන තවත් කරුණක් නම්  රෝගය වැළඳී දින 2-3 දී ලෙඩාගේ රුධිරයේ ඇති වෛරස ප්‍රමාණය උපරිමයක් වන බවයි. ඉන් පසුව, තව දින 3 කින් පමණ රුධිරයේ වෛරස නැති නිසා රෝගියා හුදකලා කිරීමෙන් පලක් නැති බවයි. ඒ වගේම, බොහෝ ලෙඩුන් මේ අවස්ථාව දක්වා කාලය තුල නිවසේ සිටින බවත්, ඩෙංගු රෝගය වැළඳී ඇති බවට නොදන්නා බවත්ය. 

ඇත්ත වශයෙන්ම මේ අදහස්වල හරයක් ඇත. නමුත් මෙයින් අදහස් කරන්නේ අපට සමහර රෝගීන්, නැත්නම් බොහෝ රෝගීන්, හුදකලා කීරීමට නොහැකියයි නොසිතිය යුතුය. දින 2-3 කදී රුධිරයේ වෛරස ප්‍රමාණය උපරිම විමෙන් අදහස් කරන්නේ ඊට පෙර සහ විශේෂයෙන්ම ඊට පසුව රුධිරයේ වෛරස නැති බව නොවෙයි. එම නිසා, හුදකලා කිරීමෙන් ප්‍රයෝජනයක් ඇත. මේ වන විට බලධාරීන්ගේ අවවාදය නම් උණ සැදී වැඩි දිනක් නොගොස් ඩෙංගු දැයි තීරණය කිරීමට රුධිරය පරික්ෂා කරන ලෙසයි. ඒ අවවාදය පිළිපදින්නේ නම් බොහෝ රෝගීන් දින 2-3 කින් ඩෙංගු බව හඳුනා ගැනීමට ඉඩ ඇත. 

තවත් වැදගත් කරුණක් නම් යෝජිත උපක්‍රමය සාර්ථක වීමට සෑම ඩෙංගු රෝගියෙක්ම හුදකලා කලයුතු නැති බවයි. සෑහෙන රෝගීන් ප්‍රමාණයක් නිරතුරුවම හුදකලා කෙරුවොත් උපක්‍රමය සාර්ථක වෙයි. මේ අදහස් විවෘතව සමාජයේ සාකච්ඡා කල යුතුයි. කොයි උපක්‍රමය යෙදුවත් මහජන සහයෝගය නැතිනම් එය අසාර්ථක වෙයි. උණ වැළඳුන වහාම රෝගය කුමක් උවත් මදුරුවාගෙන් ප්‍රවේසම් උවහොත් ඉතා සුළු කාලයකදී ඩෙංගු තුරන් කිරීමට හැකි බව ඔබට වැටහෙනවා ඇතැයි අපගේ විස්වාසයි.

3. ඩෙංගු වැළඳුනු මදුරුවෙක් බිත්තර මගින් උගේ පැටවුන්ට වෛරසය පැවරීමට ඇති හැකියාව


ඊළඟට, මදුරුවන් විසින් පැටවුන්ට වෛරසය පැවරීම සිදුවෙනවා ද නැද්ද යන්න සලකා බලමු. සමහරුන්ගේ අදහස නම් මදුරුවන් විසින් පැටවුන්ට ඩෙංගු වෛරසය  පැවරිය හැකි නිසා, රෝගීන් හුදකලා කිරීමෙන් ප්‍රයෝජනයක් නොමැති බවයි. නොඑසේනම් උපදින කොටම මදුරුවන් හට ඩෙංගු වෛරසය ශරිරගත බැවින්, ඊඩිස් මදුරුවන්ට රෝගය බෝ කිරීමට පෙර ඩෙංගු රෝගියෙක් දෂ්ට කිරීම අනවශ්‍ය බවයි. එය එසේ නම් අපිට දෙවියන්ගේම පිහිටයි !

මදුරුවන් විසින් වෛරසය පැටවුන්ට පැවරීම සිදුවෙන බවට සාධක වශයෙන් දක්වා ඇති කරුණු දෙක නම් :-

     1 යම් අවස්ථාවලදී ඩෙංගු රෝගීන් වාර්තා නොවී බොහෝ කාලයක් ගතවූ පසුව, විශේෂයෙන් නියඟයකට පසුව, නැවතත් ඩෙංගු රෝගය පැතිරීමට පටන්ගැනේ.

     2 මදුරු කීටයන් තුල සහ පිරිමි මදුරුවන් තුලද ඩෙංගු වෛරසය සොයාගෙන ඇත.

අපිට වැදගත් වෙන්නේ, පැටවුන්ට වෛරසය පවරනවා පමණක් නොව, මෙම ක්‍රියාවලිය කොතරම් ප්‍රමාණයකට සිදුවෙනවාද යන්නයි. මේ පිළිබඳව බොහෝ පරීක්ෂණ පවත්වා ඇත. නමුත් තවමත් එකගත්වයකට පැමිණ නැත. පසුගිය වසරේ, මේ කරුණ ගැන ඉතාමත් තියුණු සමීක්ෂණයකට අනතුරුව පිළිගත් සඟරාවක නිගමනය වූයේ:-

“බොහෝ පරීක්ෂණ වලින් පැටවුන්ට වෛරසය පැවරීම සනාථ කිරීමට අපහසු වීම සහ ගණිතමය මාදිලි මගින් සොයාගත් කරුණු අනුව ප්‍රදේශයක නැවතත් ඩෙංගු ව්‍යාප්ත වීමට බලපෑ හැකි වැඩිම හේතුව රෝග ලක්ෂණ නොමැති ඩෙංගු රෝගීන් සහ වෛරස රැගත් පිරිස් ප්‍රදේශයට පැමිණිම යන කරුණු මතු වී ඇත”.

J Med Entomol. 2016 Jan;53(1): 1-19 How important is Vertical Transmission of Dengue Viruses by Mosquitoes (Diptera:Culicidae)?  Martin Grunnill  Michael Boots.
https://academic.oup.com/jme/article/53/1/1/2459705/How-Important-is-Vertical-Transmission-of-Dengue

එවැනිම අදහසක් පහත සඳහන් තවත් සඟරාවක්  ප්‍රකාශ කර ඇත:-
http://www.ajtmh.org/content/journals/10.4269/ajtmh.1983.32.118

4. සම්පත් නැතහොත් ප්‍රතිපාදන

පාඨකයින් ඉදිරිපත් කලත් නැතත්, සම්පත් සහ ප්‍රතිපාදන ඉතාමත් වැදගත් බව කවුරුත් දන්නා කරුණකි. සම්පත් දෙආකාරයකට අර්ථ කථනය කලහැක--මිල මුදල් සහ මානව සම්පත් වශයෙන්. මානව සම්පත් ලෙස සාමාන්‍යයෙන් දක්වන්නේ උගත් පුද්ගලයින්, නිලධාරීන් සහ සේවකයනුයි. නමුත් සාමාන්‍ය ජනතාවද සම්පතක් සේ සැලකිය හැක.

මානව සම්පත් අමුතුවෙන් සොයා ගැනීම අනවශ්‍යයි. දැනට සිටින නිලධාරින්ම නව ඩෙංගු මර්ධන ව්‍යාපාරයට යෙදවිය හැක. රෝහල්වල නේවාසිකව සිටින ඩෙංගු රෝගීන් ඔවුන් වෙනුවෙන්  පමණක් නියම කර ඇති වාට්ටු වල රඳවා ගත යුතුයි. එම වාට්ටු වායුසමීකරණය කල යුතුයි; නැතහොත් මදුරු දැල් වලින් වට කල යුතුයි. විශාලම වියදමක් දරන්න වෙන්නේ මෙම වැඩ පිලිවෙලටයි. ඊට අමතරව, රෝහලට නොපැමිණි ඩෙංගු බව රුධිර පරීක්ෂාවෙන් සනාථ කල පුද්ගලයින් සඳහාද වෙනත් පියවර ගත යුතුයි. ඔවුන්ට ඩෙංගු සෑදී ඇති බවට රුධිර වාර්තාව ලබාදෙන අවස්ථාවේම තවත් දේ ලබාදිය යුතුයි; එනම් මදුරු දැලක්, මදුරුවන් පලවාහැරීමේ මදුරු විකර්ෂක බෝතලයක් සහ මදුරු දෂ්ටයෙන් වැලකී සිටීමේ වටිනාකම පහදා දෙන පත්‍රිකාවක්. එම පත්‍රිකාවේ මෙසේ සඳහන් විය යුතුයි; “ඔබේ ශරීරයට ඩෙංගු වෛරසය ඇතුල්වී ඇත. එම වෛරසය තවත් කෙනෙකුට මදුරුවෙක් මගින් ලබා නොදීම ඉතාමත් වැදගත්ය. එම නිසා, ඉතිරි සතිය තුල මදුරුවන්ගෙන් ප්‍රවේසම් වෙන්න”, හෝ එවැනි අදහසක් ඇති වෙනත් වචන පත්‍රිකාවේ ඇතුලත් කිරීම අත්‍යාවශ්‍යයි.

එසේ බලනවිට මේ සඳහා ඉතා විශාල මුදලක්, රුපියල් කෝටි ගණනක්, අවශ්‍ය වෙයි. නමුත් මේ වර්ෂයේ දැනට ජිවිත 250 ක් පමණ  නැතිවී ඇති නිසා මෙතරම් මුදලක් යොදා හෝ ඩෙංගු වසංගතය තුරන් කිරීමට පුළුවන් නම් රටට ලාභයක් මිස පාඩුවක් නොසිදුවෙයි.

ඉහත සඳහන් පරිදි සාමාන්‍ය ජනතාව සම්පතක් සේ සැලකුවොත් කිසිම වියදමක් නොමැතිව, එතරම් විශාල වියදමකින් කරගත යුතු කාර්යය කල හැක. මෙම බ්ලොග් එකේ ප්‍රකාශ කර ඇති අදහස් සියලු දෙනාම පිළිගතහොත්, එසේම එම අදහස් සාමාන්‍ය ජනතාව අතර පැතිරෙව්වොත්, එවිට ජනතාවට පහත සඳහන් අයුරු අදහසක් නැතිනම් “සංඥාවක්” ඇති වුවහොත් :-

“උණ නම් ඩෙංගු විය හැකියි. ඩෙංගු නම් මා තුල ඩෙංගු වෛරසය ඇත. එසේ නම් මම මදුරුවන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි”.

මගේ අදහස නම් ඩෙංගු වලින් දැන් ජනතාව අන්තිමටම වැටී ඇත. එම නිසා උත්සාහ කලහොත් ඉහත දැක්වූ “සංඥාව” ඇති කිරීම එතරම් අමාරු වන්නේ නැත.

වෛද්‍ය ලාල් ජයසිංහ
laljayasinghe@hotmail.com

Comments

Popular posts from this blog

ඩෙංගු රෝගය ලංකාවෙන් තුරන් කිරීමට නම් ...

Are asymptomatic dengue “patients” a source of dengue infection to others?